
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීමේ ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීම් කැලැන්ඩරයට එක් කර තිබේ.
ඒ අනුව එළඹෙන 20 වැනිදා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සළකා බැලීමට නියමිතය.විධායක කමිටුවේ සෑම රැස්වීමකම න්‍යාය පත්‍රය සාමාන්‍යයෙන් එම රැස්වීම පැවැත්වීමට පෙර දිනයේ අවසාන වශයෙන් තීරණය කරනු ලබයි.
චීනය ඇතුළු ප්‍රධාන ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් අවශ්‍ය මූල්‍ය සහතික ශ්‍රී ලංකාව ලබා ගැනීමත් සමඟ විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා ගැනීමේ ඉල්ලීම එළඹෙන 20 වැනිදා විධායක කමිටුව වෙත යොමු කරන බව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය පැවැසුවාය.
එසේම ජාත්‍යන්තර අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් ඇතැයි විශ්වාස කරන බව පසුගියදා ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඇති කරගත් කාර්ය මණ්ඩල ගිවිසුම එළඹෙන 20 වැනිදා සමාලෝචනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව සූදානම් බව ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මගින් ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලීතාවය වර්ධනය වූවත් බාහිර සහ පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹීමේ කාල වකවානු තවමත් අවිනිශ්චිත බව ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා විධායක කමිටුව රැස්වන දිනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනු ලැබුවේ ප්‍රධාන ණය හිමියන් ලබා දුන් මූල්‍ය සහතික ඉදිරියට යාම සඳහා ප්‍රමාණවත් වීම හේතුවෙන් බව ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.

