මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සම්මත වේ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

මේ අනුව පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණි.

පනත් කෙටුම්පතට ඡන්දයක් අවශ්‍ය බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේ‍ය.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

මෙයට අමතරව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්ද ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතද , නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් ඡන්ද විමසීමකින් තොරව සම්මත වූයේය.

මෙම මුදල් පනත් සහ රෙගුලාසි පිළිබඳ විවාදය අද (7) උදේ 11.00ට පමණ ආරම්භ වූ අතර පස්වරු 4:30 දක්වා එය පැවැත්විණ.

මෙම මුදල් පනත් පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

විවාදයේ ආරම්භක කතාව කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.