මුතුරාජවෙළ


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ඉකුත් ඔක්තෝබර් 07  නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන අප්‍රේල 08 වැනිදා තෙක් පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) එකගත්වය  පළ කලේය.

එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ ගම්පහ   දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද හේෂාන් ජයවර්ධන, සහ එම ප්‍රදේශයේ පදිංචි  ධීවරයකු ගොනු  කල මූලික අයිතිවාසිකම් පෙත්සමක්  කැඳවූඅවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය මෙම එකගත්වය පල කළාය.

අගවිනිසුරු  ජයන්ත ජයසූරිය  මහතා  සහ ජනක් ද සිල්වා,  අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී  නීතිපතිවරයා  වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය පෙත්සම  සම්බන්ධයෙන්  විරෝධතා ගොනු  කිරීම  සදහා  කල් ලබා දෙන ලෙස ඉල්ලා  සිටියාය .

එහිදී  පෙත්සම්කරුවන්  වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ  ෆර්මාන් කසීම් මහතා සඳහන්  කලේ අදාල ගැසට් නිවේදනය අනුව දවස්  30ක්  ඉක්ම ගිය  විට  එම ඉඩම්  අත්පත් කර ගැනීමේ  හැකියාව  ලැබෙන  බවය.

ඒ අනුව  එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කළ මෙම  පෙත්සමට විරෝධතා ගොනු  කිරීමට විශාල  කාල සීමාවක්  ලබා නොදෙන ලෙස ඔහු ඉල්ලා  සිටියේය.

එහිදී  රජයේ  නීතිඥවරිය ඊලඟ  පෙත්සම කැඳවන  දිනය තෙක්  ගැසට් නිවේදනය අනුව  පියවර නොගැනීමට එකගත්වය පල කලාය.

පෙත්සම අප්‍රේල් මස 08වැනිදා කැඳවීමට නියම කෙරිණ.

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා  ඉකුත් ඔක්තෝබර්  07 නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ ගැසට්  නිවේදනය  අනුව  කටයුතු කිරීම සහ ඉදිරි පියවර ගැනීමෙන්  වගඋත්තරකරුවන්  හෝ ඔවුන්ගේ  නියෝජිතයන්  වළක්වන අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ගැසට් නිවේදනය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන සහ නිවාස ඇමැති  අගමැති  මහින්ද රාජපක්ෂ,  රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර,  වත්තල, මීගමුව,  ජා ඇල  ප්‍රාදේශීය  ලේකම් වරු, නීතිපතිවරයා  ඇතුළු  14දෙනෙකු නම් කර තිබිණි.