මී මුනුබුරා නොදැක මහ රැජිනත් ශෝකයෙන්


එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ.
 
රාජකීය තනතුරුවලින් බැහැරවී අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් හැරී සමඟ සාකච්ඡා කරමින් සිටියදී ද  මේ සම්බන්ධයෙන් මහ රැජින කනගාටුවෙමින් සිටි බව පැවසේ.
 
රාජකීය පවුලේ අනෙකුත් සහෝදරයන් මෙන් නොව ආචි උපන්නේ රාජකීය තනතුරු නොලබමිනි. ඔහුව හඳුන්වන ලද්දේ, ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසිනි.
 
සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙසින් දැන් හැඳින්වෙන හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ අටමස් හැවිරිදි කුඩා පුතුට රජ පවුලේ සාමාජිකයන් සමඟ ගතකිරීමට ලැබී තිබුණේ සුළු කාලයකි. රැජින පමණක් නොව, චාල්ස් කුමරු ද (හැරී සහ විලියම් කුමරුවන්ගේ පියා),  විලියම් කුමරු ද, විලියම් කුමරුගේ පුතුන් වන ජෝරජ් සහ ලුවිස් කුමරුවන්ද, දියණිය වන චාලට් කුමරිය ද අතේ ඇඟිලි ගණනට වඩා වාර ගණනක් ආචිට මුණ ගැසී නොමැති බව පැවසේ.
 
රජ පවුලේ සාමාජිකයන් සහ සහෝදරයන් සමග ආචි පුතු එකට හැදී වැඩෙනු බලන්නට නොහැකිවනු ඇති බැවින් එළිසබෙත් මහ රැජින මහත් කනගාටුවකින් පසුබව බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.
 
 
ආචිගේ මී  මිත්තනිය සහ  මී මුත්තා වන එඩින්බරෝහී ආදිපාදවරයා ඔහුට මුණ ගැසී ඇත්තේ, ආචිගේ වයස යන්තම් දින දෙකක්ව තිබියදීය. ආචි බෞතීස්ම කරන දිනයේදී ද ඔවුන්ට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.
 

පසුගිය ජූලි මාසයේ බර්ක්ෂයර්හි විලියම් කුමරු සහභාගී වූ පෝලෝ තරගයකදී ආචි අත දරාගෙන සිටින මේගන්ගේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබිණි. එසේ වුවත් නත්තල් නිවාඩුව වෙනුවෙන් නොවැම්බරයේදී මේගන් සහ හැරී දෙදෙනා කැනඩාව බලා පිටත් වූ පසු රාජකීය පවුලේ පිරිස එක් කණ්ඩායමක් ලෙස සිටින අවස්ථාවක් දක්නට නොලැබිණි.
 
නොවැම්බරයේ සිට ආචි එංගලන්තයට පැමිණ නැති අතර මේ වනවිට ඔහු  සිය මව සහ මිත්තණිය සමග කැනඩාවේ වෙසෙයි. එළඹෙන සතිවලදී හැරී ඔවුන් සමඟ එක්වනු ඇති අතර නැවත කෙදින එංගලන්තයට පැමිණේද යන්න අවිනිශ්චිතය. මේ හේතුවෙන් රැජින සිය මී මුනුබුරා කවදා දක්නට ලැබේදැයි සිතමින් සිටින්නීය.
 
රැජින පමණක් නොව, ආචිගේ සීයා වන 71 හැවිරිදි චාල්ස් කුමරු ද මුනුබුරාගේ ඇසුර නොලැබීම හේතුවෙන් දුකින් පසුවන බව වාර්තා වේ.
 
හැරී සහ මේගන්ගේ තීරණයත් සමඟ ආචිගේ උරුමය කොහේ තිබෙනු ඇත්ද, හැරීගේ මව වන ඩයනාට හිමි ස්පෙන්සර් පවුලේ උරුමය කාටදයැයි එංගලන්ත පුවත්පත් ප්‍රශ්න කරයි. ස්ථාවර ළමා වියක් අහිමිවීමේ විපාක වෙන කාටත් වඩා විලියම් සහ හැරී යන දෙදෙනා දනිතිය යන්න එංගලන්ත පුවත්පත්වල මතවාදයයි.
 
(ඩේලිමේල් ඇසුරිනි)