(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි, තිලකරත්න දිසානයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් කරවල ව්‍යාපාරිකයකු මරණයට පත්වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මිනුවන්ගොඩ පාසලක් අසලදි සිදු වූ මෙම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ මානික්කුගේ සජිත් උදයංග රෝහන තිලක නොහොත් ටොක්කා නැමති තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අංක ගල්ලොලුව, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි කරුවෙකු බවට හඳුනාගත් බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා කුඩා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී - 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.
බරපතල තුවාල ලබා සිටි ඔහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඒ වන විට මරණයට පත්වී ඇතැයි වෛද්‍යවරුන් හෙළිකර තිබේ.
---------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක)
මිනුවන්ගොඩ ජාපාලවත්ත පාසලක් අසලදී මීට සුළු මොහොතකට ඉහතදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පදිංචිව සිටි සජිත් සදරුවන් උදයංග නැමැත්තෙකි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
119 යතුරුපැදී සංචාරයේ නිරත නිලධාරීන් දෙදෙනා එම ස්ථානය කරා පිටත්ව ගොස් ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.