මිනුවන්ගොඩ ඝාතනයට පහක් පොලිස් දැලේ


(ටෝනි කරුණානායක)

සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලෙන් පසු මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේ දී 23 හැවිරිදි එක්දරු පියකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පියකු පුතුන් දෙදෙනකු ඇතුළුපස් දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

එම ඝාතනය සඳහා උපයෝගී කරගත් නවීන පන්නයේ මෝටර් රථයක්, මන්නා පිහි දෙකක් ,යකඩ පොල්ලක් ,සැකකරුවන් හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් සහ ජංගම දුරකථන තුනක් සැකකරුවන්ගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචි මරණකරුගේ ඥාතියකු වන 49 හැවිරිදි රාලහාමි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ එම සැකකරුගේ 24 සහ 22 හැවිරිදි පුතුන් දෙදෙනාත් කලහුගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සහ මරණකරුව දුරකතන ඇමතුම් ලබාදී නිවසින් ගෙන්වා ගත් කොටගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .

මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටී පිලිප්පැන්න ගේ ලක්ෂිත ලක්මාල් ද සිල්වා හෙවත් සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක්දරු පියා යතුරුපැදියකින් 05 වන සැකකරු ගේ නිවස අසලට ගොස් ඔහු සමග කතා කරමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් එම මෝටර් රථයෙන් යතුරුපැදිය හප්පා යතුරු පැදිය පෙරලීමෙන් අනතුරුව ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගිය සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මරණකරුව යකඩ පොල්ලකින් පහර දී මන්නා පිහි වලින් කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.