විනීතා එම් ගමගේ
කොරියාවේ දී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක් බේරා ගත් නිමල් බණ්ඩාර නමැති ශ්‍රී ලාංකික සේවකයාට කොරියානු රජය මඟින් එරට පුරවැසිභාවය අද (18) පුදනු ලැබීය.
දකුණු කොරියාවේ රැකියාවේ නියුතුව සිටින විදේශිකයකුට සුවිශේෂී හේතුවක් මත එරට පුරවැසිභාවය හිමිවන පළමු අවස්ථාව මෙය වේ.
ගින්නකට හසුවූ නිවසක හුදෙකලාව සිටි 91 ක් හැවිරිදි කොරියන් ජාතික කාන්තාවක් බේරාගැනීමට සිය ජීවිතය ද පරදුවට තබා ඉදිරිපත් වූ ඔහු එකී වීර ක‍්‍රියාව වෙනුවෙන් කොරියානු රජය විසින් මීට පෙර ජනාධිපති සම්මානයෙන් ද පුදනු ලැබීය.
එම වයෝවෘද්ධ කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට නිමල් බණ්ඩාර මහතා සමත් වූ නමුත් එහිදී නිමල් මහතා ද දරුණු පිළිස්සුම් තුවාල හා දුම් ආඝ‍්‍රාණය වීම නිසා පෙනහලූ ආසාදනයකට ද ලක්ව දකුණු කොරියාවේ බෝගන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කලක් ප‍්‍රතිකාර ලැබීය.
කොරියානු රජය විසින් ඔහුගේ වීර ක‍්‍රියාව සඳහා ඉකුත් ජුනි මාසයේ දී උපහාර පුදනු ලැබු අතර පුරවැසිභාවය ලබා දීමට ද තීරණය කළේය. එහි නිල උත්සවය ඊයේ (17) දකුණු කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
හසලක, මිණිපේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි නිමල් බණ්ඩාර මහතා 2016 වසරේ කොරියාවේ රැකියාවට ගොස් ඇති අතර ඔහු එහි ඇපල් වත්තක සේවය කරනු ලබයි. ඔහු දෙදරු පියෙකි.
දකුණු කොරියාවේ පුරවැසිභාවය විදේශිකයකුට හිමිකරගත හැකි වන්නේ එරට තරුණියක් විවාහ කර ගැනීමෙන් පසුව රජයේ විභාගයකට ද මුහුණ දී ඉන් සමත්වුවහොත් පමණකි.
එම ක‍්‍රියාදාමයෙන් පරිබාහිරව පුරවැසිභාවය හිමිවූ ප‍්‍රථම විදේශිකයා තමන් වීම ගැන ආඩම්බර වෙන බවත් මෙය තම මව්බිමට අත්කර දුන් ගෞරවයක් සේ තමන් හිතන බවත් නිමල් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවැසී යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධියෙන් පසු නිමල් බණ්ඩාර මහතා හැඳීන්වීමට එරට ශ්‍රී ලාංකිකයන් යොදන මිනිපේ සිංහයා යන අනවර්ථ නාමය මේ පිළිබඳ වාර්තා කිරීමේ දී එරට මාධ්‍ය ද යොදා ගෙන තිබෙනු දැකිය හැකිවිය.