මිනිත්තු 20න් කළ හැකි කොවිඩ් පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාවෙන් අත්හදා බලයි


 

(ගාඩියන් ඇසුරෙනි)

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මිනිත්තු 20කින් සිදුකළ හැකි කෝවිඩ් 19 පරීක්ෂණයක් සොයාගෙන තිබේ.

පුද්ගලයන්ගේ රුධිර සාම්පල යොදා ගනිමින් මෙම පරීක්ෂණය සිදුකරන බව සඳහන්වේ. කිසියම් පුද්ගලයෙක් දැනට කොවිඩ් ආසාදනයට ලක් වී සිටී ද? යන්න මෙන්ම අතීතයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී සිටියේ ද යන්නත් මෙහිදී හඳුනාගත හැකි බව එම පර්යේෂකයෝ පවසති.

පරීක්ෂණය සඳහා රුධිර ප්ලාස්මාවෙන් මයික්‍රො ලීටර් 25ක් භාවිත කෙරෙන අතර මෙය සාර්ථක වුවහොත් කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇති බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසයි.

කොවිඩ් එන්නත් සායනිකව අත්හදා බැලීමේදී ශරීරයේ නිපදවන ප්‍රතිදේහ හඳුනා ගැනීමටත් මෙම පරීක්ෂණය උපයෝගී කරගත හැකි බව සඳහන්ය.

ගෝලීය වශයෙන් පුද්ගලයන් එක්කෝටි හතළිස් ලක්ෂයක පමණ පිරිසක් ගොදුරු කරගත් කොවිඩ් වසංගතයට ඕස්ට්‍රේලියානුවන් 11,000ක වැඩි පිරිසක් ද ගොදුරු වී තිබේ. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව 116කි.