(ගයාන් සූරියඅරච්චි)
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවැසීය.
ඒ අනුව එම බස් රථ මගින් දෙලක්ෂ විසි එක් දහසක පමණ පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇති බවද හපුගොඩ මහතා කීය.
එම බස් රථ කොළඹට පැමිණෙන විට බස් රථ ගාල් කිරීම සදහා කාන් වටරවුම, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට, රීගල් සිනමා ශාලාව ඉදිරිපිට, පැරැණි මැනිං මාර්කට් වෙළෙදපොළ, ගාමිණී වටරවුම, බාලදක්ෂ මාවත, ගාලු මැද පාර, පැරැණි එම්.ඕ.ඩී. භූමිය, ගුවන් හමුදාව ඉදිරිපිට ප්‍ර දේශය, චිත්තප්පලම් ගාර්ඩිනියා මාවත, කොල්ලුපිටිය හන්දිය, නෙළුම් කුළුණ අසල රථ ගාල් සූදානම් කර ඇති බව ද හපුගොඩ මහතා කීය.
කොළඹ නගරය තුළ රථවාහන හැසිරවීම සදහා රථවාහන නිලධාරීන් 850 ක් පමණ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති අතර ඊට අමතරව සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 2000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් කොළඹට යොදවන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.