මැතිසබේ හිංසන සිද්ධිය: මහලේකම්ගෙනුත් අලහප්පෙරුම කමිටුවට කටඋත්තරයක්


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ  මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල  ප්‍රධානී  නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න  යන මහත්ම මහත්මීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ පරිපාලනයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා යැයි  දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන්  තොරතුරු පද්ධති සහ කළමනාකරණ  දෙපාර්තමේන්තුවේ බුද්ධික නවගමුව, චමින්ද විල්ලෝරාරච්චි,  නරේන්ද්‍ර ලක්මහල් සහ දමින්ද වික්‍රමරත්න  යන ප්‍රධානීන්ගෙන්ද   පැමිණිලිකාර නිලධාරිනියගෙන්ද හිටපු පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා  දිසානායක මහත්මියගෙන්ද මීට ප්‍රථම ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා   අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ විමර්ශන කටයුතු ඉදිරි දිනවල අවසන් කිරීමට නියමිතය.

විමර්ශන අවසන් කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉතා කෙටි කලකින් කතානායකවරයාට බාරදීමට එම කමිටුව බලාපොරොත්තු වෙයි.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ  දෙපාර්තමේන්තුවේ මෙම හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේදීද අදහස් දැක්වූහ.

මේ සම්බන්ධයෙන් අප කතානායක කාර්යාලයේ නිලධාරියකුගෙන් අද   කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාර්තාවේ  නිර්දේශ පදනම් කරගෙන  සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නොපමාව කටයුතු කරන බවයි.