මැතිසබයට ආ ජනපතිට එරෙහිව විපක්ෂයෙන් විරොධයක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියදී සමගි ජන බලවේගයේ  සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට "ගෝ හෝම් ගෝටා"( ගෝටා ගෙදර යන්න) යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන එක දිගට විරෝධතාවයක යෙදීම නිසා සභාවේ දැඩි උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.

මේ උණුසුම්කාරී තත්වය හේතුවෙන්  සභාවේ කටයුතු පාලනය කරගත නොහැකිවීමෙන්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සභාව විනාඩි දහයකට කල් තබනු ලැබීය.

විපක්ෂයේ මේ විරෝධය ඇතිවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සිටියදීය.

සමගි ජන බලවේගයේ  සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියදී  ජනාධිපතිවරයා  ඒ දෙස සිනාසෙමින් බලා සිටිනු දැකගත හැකිවිය.

එම  මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු "වී වෝන්ට් ගෝටා" ( ගෝටා අපිට අවශ්‍යයි )  යනුවෙන් කෑ ගැසූහ.

හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා ජනාධිපතිවරයා අසලටම පැමිණ  එක් අතක් උස් පහත් කරමින් " වී වෝන්ට් ගෝටා  " යනුවෙන් එක දිගටම  කෑගසන අයුරු දැකගත හැකිවිය.

මේ විරෝධය   පැවැත්වෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අතක් ඔසවා ජනාධිපතිවරයාට යමක් පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට ඊයේ පෙරවරු 10.00 ට පමණ පැමිණියේය.

එසේ පැමිණ සිය අසුනට වී අගමැතිවරයාගේ කතාවට  සවන් දෙමින් සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම උද්ඝෝෂණය ඇරඹූහ.

උද්ඝෝෂණය මෙසේ පැවැත්වෙන අතරේදී ජනාධිපතිවරයා පෙරවරු  10:30 ට පමණ  සභා ගැබෙන් පිටව යන අයුරු දැකගත හැකිවිය.

මන්ත්‍රීවරු පිරිසක් සහ  වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාද ජනාධිපතිවරයා සමග  ගමන් ගත්හ.

ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පුවරුව රැගෙන මුලින්ම ඉදිරියට  පැමිණියේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ය.

ජනාධිපතිවරයා ඉවත්ව ගිය පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීම  ආරම්භ කළ අතර  ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුගේ කතාවට එක දිගට බාධා කළහ. 

මේ අවස්ථාවේදීද සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

"බල්ලා" "බූරුවා" "මෝඩයා"  යන වචනද මේ අවස්ථාවේදී හුවමාරු වනු දැකගත හැකිවිය.