මැතිවරණයට එරෙහි පෙත්සම්වලට නීතිපති - ජනපති ලේකම් විරෝධතා ගොනු කරති



( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා  පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා අද  (14) ⁣ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළේය.

ඒ මේ සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් හා අතරමැදි පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද   (18) සලකා බැලීම සදහා කැදවූ අවස්ථාවේදීය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් මෙම පංච පුද්ගල  විනිසුර මඩුල්ල හමුවේ පෙත්සම් කැදවිණි.


මෙම පෙත්සම් කාලවිරෝධී බවත් , ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික වි⁣රෝධතා ඉදිරිපත් කියා සිටියාය.
එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය .

පෙත්සම් හි වැඩිදුර විභාගය.තවදුරටත් පැවැත්වේ.
නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ,  සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය  කුමාර වෙල්ගම යන් මහත්වරුන්  ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

ජාතික වැදගත්කමින් යුතු පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය .