මැතිවරණයක දී ආගමික ස්ථාන යොදා නොගන්නැයි ඉල්ලීමක් කරන්න යයි


(විනීතා එම් ගමගේ)

මැතිවරණවල දී ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නැවත සළකා බලන්නැයි  මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු  වන බව පැෆරල් සංවිධානය කියයි.
 
පසුගිය ජනාධිපතිවරණයේ දී සමහර අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආගමික නායකයන් පියවර ගැනීමත් සමහර සිද්ධස්ථාන මැතිවරණයේ දී අපේක්ෂකයන් ප්‍රවර්ධනයට යොදා ගැනුණ  බව නිරීක්ෂණය වීමත් හේතුවෙන් මෙසේ ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
 
ආගමික ස්ථාන ස්වාධීන විය යුතු බවත් පක්ෂ  පාට හෝ තරාතිරම් අනුව වෙනස් නොවිය යුතු බවත් කී හෙට්ටිආරච්චි මහතා ඒ පිළිබඳව නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මැතිවරණයක පැවතිය යුතු නිදහස් හා සාධාරණභාවයට  හානි සිදුවිය හැකි බැවනි මෙම තීරණය ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
 
එමෙන්ම මැතිවරණයේ දී දිගුකාලින වශයෙන් විසඳුමක් සොයාගත යුතු ගැටළු ලෙස මෙවර මැතිවරණය නිරික්ෂණයේ දී හඳුනාගත් ගැටලුවක් වන්නේ දුර බැහැර ප්‍රදේශවල ඡන්ද දායකයන්ට කිලෝමීටර් ගණනාවක් ගෙවා ඡන්ද පොලවලට යාමට සිදුවීම හා ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්ද පොළට ප්‍රවේශය නොමැති කම යැයි ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.