මැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන මුදල් ලේකම් හා හූවක් නෑ


(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77 ක මුදලක් ලබා දෙන ලෙසට ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

මේ ඉල්ලීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත්  මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මැතිවරණයේ  මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77ක් ලබා දෙන්නැයි මහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් පසුගියදා  කරනු ලැබුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසිනි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළුව  මැතිවරණයකදී මූලික කටයුතු කරන ආයතන සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට මෙම මුදල ඉල්ලා සිටි බව  නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මේ අතර මුදල් නොලැබුණහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැටලුකාරී වනු ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දෙති.

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා කෝටි 400ක් පමණ වැය වනු ඇතැයි  ගණන් බලා ඇත.