මැති ඇමැතිවරු අටක් නිරෝධායනයේ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැති ඇමතිවරු අටදෙනෙක් නිරෝධායනයට යොමුවී සිටිති.

මෙසේ නිරෝධායනයට යොමු වී සිටින්නේ ඇමතිවරුන්වන චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන , රාජ්‍ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ, ඩී.වී චානක , මන්ත්‍රීවරුන්වන එස් බී දිසානායක ,අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ ඩයනා ගමගේ යන අයයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ට කොරෝනා ආසාදනයවීම නිසා මෙසේ නිරෝධායනයට යොමුවී සිටිති.

සෙසු මැති ඇමැතිවරුන් නිරෝධායනයට යොමුවී සිටින්නේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසාය.

තමාගේ රියැදුරකුට කොවිඩ් ආසාදනය වීම නිසා නිරෝධායනයට යොමුවූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ නිවසේ සේවකයකුට කොරෝනා ආසාදනය වීම නිසා තමා නිරෝධායනයට යොමුවූ බවයි.

තමාද නිරෝධායනයට යොමු වී සිටින බව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සනාථ කළේය.

චමල් රාජපක්ෂ මහතාගේ නිරෝධායන කාලය අදින් අවසන් වීමට නියමිතය.

මෙම මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදී ඡන්දය පාවිච්චි කිරීමටද මේ නිසා සහභාගී වූයේ නැත.