(ජයන්ත සමරකෝන්)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එහි විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව එල්ටිටීඊ සැකකරුවන් රඳවා සිටින 'ජී.එච්.' හා 'ජේ' යන සිර වාට්ටු මෙම සෝදිසි මෙහෙයුමට ලක්වී ඇතැයි ද පැවසේ.
මෙම සිර වාට්ටුවල ප්‍රධාන පෙලේ එල්ටීටීඊ සැකකරුවන් 80 දෙනෙකු පමණ රඳවා ඇතැයි ද දැනගන්නට තිබේ.
මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බව කියන පාතාල අපරාධකරුවකු වන ‘ගොනාකෝවිලේ රොහා’ නැමැත්තා ඝාතනය කිරිම සඳහා මෙම ගිනි අවිය බන්ධනාගාරය තුළට එවා ඇති බවට සැකයක් මත මෙම සිර වාට්ටුවල පරික්ෂාවක් සිදුකරන බවද වාර්තා වේ.
'ගොනාකෝවිලේ රොහා' නැමැති සැකකරු මෙහි ‘ජී’ වාට්ටුවේ රඳවා ඇතැයි ද කියති.
මේ පිළිබඳව බන්ධනාගාර අධිකාරි ජි.කොඩිතුවක්කු මහතාගෙන් කළ විමසිමේ දී ඒ මහතා කිවේ ගිනිඅවියක් බන්ධනාගාරය තුළට ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂාවක් සිදුකරන බවයි.
මෙම සිද්ධිය සැළ වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවූ බව මැගසින් බන්ධනාගාරිවරයා පැවසීය.

