(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය.
මේ නිසා බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
එම විරෝධය නොතකමින් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 10 .00 ට දුම්රිය ගමන ආරම්භ කිරීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළේය.
හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් විරෝධතාවයේ නිරත වු පිරිස ඒ මහතාගේ රුව සහිත බැනරයක් බලහත්කාරයෙන් දුම්රිය එන්ජිම ඉදිරිපස සවි කළේය.
ඒ අනුව දුම්රිය ටික දුරක් ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලු දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත විය.
ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් පසු එම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යළි දුම්රිය මාතර බලා ධාවනය ආරම්භ කෙරිණි.
කැකණදුර සිට බෙලිඅත්ත දක්වා විවිධ ස්ථානයන්හි මගීහු මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී සිය විරෝධතාව පළ කරමින් සිටිති.