(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණියකද වන බව පොලිසිය කියයි.
බණ්ඩාරගම අලුත්ගම ගම්මාන පාරේ ඩබ්ලිව් ඒ සුසන්ත වික්‍රමසිංහ (51) නමැති සිව් දරු පියා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට පැමිණීමෙන් සිටියදී ඊයේ (16) රාත්‍රි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක් සමග මුහුණට මුහුණ ගැටී පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදි බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් තිබී ඇතැයි පොලිසිය කියයි.
මඳ වේලාවක් ගත වෙද්දී එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් යතුරු පැදි සහ තීරෝද රථ මගින් රෝහල් භූමිය කරා පැමිණ එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා හදිසි ප්‍රතිකාර ඒකකය තුළින් ඇඳන් පෙරලා දමා එහි ටොලිය මත දමා තිබූ මළ සිරුර බලහත්කාරයේ රැගෙන ට්‍රොලියක් සමඟ තල්ලු කරගෙන බණ්ඩාරගම හොරණ මාර්ගය කරා රැගෙන ගොස් ලොරියක පටවාගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.