මහින්දානන්දගේ කැරම්බෝඩි නඩු තීරණය අනිද්දා


(මනෝප්‍රිය ගුණසේකර)

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ නියෝගය 11 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනනිසුරු මඩුල්ල අද  තීරණය කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කරන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා (සභාපති), ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.

2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.