(අංජුල මහික වීරරත්න)
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම ව්‍යාපෘතිය ඉදිරි මාස 18 ඇතුලත අවසන් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී තීරණය කෙරිණි.
මෙරට නිෂ්පාදනය කළ හැකි මිරිස්, ලූණු හා අර්තාපල් බීජ හා බෝග සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමටත්, එමඟින් මෙරටට අවශ්‍ය මිරිස් 100% ක් මෙරට නිෂ්පාදනය කිරීමටත්, අල හා ලූණු ද මෙරටට ආනයනය කිරීම නවතා මෙරට නිෂ්පාදනය කර ගැනීමටත් මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රමුඛතාව දීමට තීරණය කෙරුණු අතර ඩොලර් මිලියන 53ක් ඒ වෙනුවෙන් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
ඊට අමතරව කෙසෙල් වගාව දියුණු කර දැනට අපනයනය කරන කෙසෙල් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් මුදල් ආයෝජනයට අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඉදි කිරීම පිළිබඳව ද ප්‍රමුඛතාව දී ක්‍රියා කිරීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මෙි සම්බන්ධ සාකච්ඡාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ජෝන් හයිසර් හා කෘෂි විද්‍යාඥ ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කේ.බී විජේකෝන්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

