(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා තරඟ සඳහා ප්‍රේක්ෂකයන් කැඳවීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහනම් කර තිබියදී කොළඹ රේස්කෝස් පිටියේ පසුගිය සිකුරාදා පැවති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගය සඳහා ප්‍රේක්ෂකයන් පන්දහසක් පමණ සහභාගී කරවීම සෞඛ්‍ය නීති කඩ කිරීමක් නොවේ දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය.
සංවිධායකයන් ඒ පාපන්දු තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට රුපියල් දහස බැගින්වූ ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
රහුමාන් මහතා මෙසේ පැවසූවේ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ප්‍රශ්නයක් යොමු කරමිනි.
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය අද ගාල්ලේදී පැවැත්වෙන බවත් ඒ තරගය පවා ප්‍රේක්ෂකයන්ට තහනම් කර තිබියදී රේස්කෝස් පිටියේ පැවති පාපන්දු තරඟයට ප්‍රේක්ෂකයන්ට සහභාගිවීමට අවස්ථාව දුන්නේ කුමන පදනමක් මතදැයි තමා ප්‍රශ්න කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
ගාල්ලේ පැවැත්වෙන ක්‍රිකට් තරගයත් මහින්ද රාජපක්ෂ කුසලාන ලෙස නම් කළා නම් ඒ තරගයටද ප්‍රේක්ෂකයන්ට සහභාගිවීමට අවස්ථාව ලැබීමට ඉඩ තිබූ බව මුජුබර් රහුමාන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මේ ප්‍රශ්නය කල්තියා අසා තිබූ ප්‍රශ්නයට අදාල නොවන්නක් හෙයින් මීට මේ මොහොතේදී පිළිතුරු ලබාදීමට සූදානම් නැති බවයි.

