මහවැලිය පිටාර ගලයි:සෝමාවතිය පාර වහයි


(නිමල් ජයරත්න )

 මහවැලි ගඟ පිටාරගැලීම හේතුවෙන් සුංගාවිල සෝමාවතීය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීමත් සමඟ අද (18)  සියලු වාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.


ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, සෝමාවතිය ප්‍රදේශය අඩියක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අද  දහවල් සිට සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බවද පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
 
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ මේ වනවිට ජලධාරීතාවය අක්කර අඩි එක්ලක්ෂ එක්දාස් හාරසියයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන්නේ ජල ධාරිතාවය අක්කර අඩි 116,000 ඉක්ම වූ පසු බව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ශාන්ත ගමගේ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.