මහබැංකු


 

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති ඇතිකර ගැනීමට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන්ගෙන් සියයට 28 ක ණය කප්පාදුවක් ලබා ගැනීම ප්‍රමාණවත් බවට විනිසුරුවරයා ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉලක්කයක් ලබාදී තිබියදී සියයට 30 - 35 ණය කප්පාදුවක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන්ගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද(05) ප්‍රකාශ කළේය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අද(05) ඔහු මෙම අදහස් පළ කළේය.

ණය තිරසර කර ගැනීමේ ඉලක්ක රටින් රටට වෙනස්වන බවත් රටකට ද්වි පාර්ශ්වික ණය ලෙස ලබාදී ඇති මූලික ණය මුදල සහනයක් ලෙස කිසිම විටකත් කපා නොහරින බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ද්වි පාර්ශ්වික ණය සඳහා සහන ලබාදීමේදී සිදුවන්නේ ණය ගෙවීම සඳහා ලබා දෙන කාලය දීර්ඝ කිරීමක් සහ පොලිය අඩු කිරීමක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ණය ගෙවීමට ඇති කාලය දීර්ඝ කිරීම ණය කප්පාදුවක් වන බවත් අද ණයක් අරන් හෙට ගෙවන අවස්ථාවේදීත් එය තවත් අවුරුදු 10 කින් ගෙවන අවස්ථාවේ දීත් ලබා දුන් ණය මුදලේ වටිනාකම වෙනස් බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 14 ක් වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායමක් ඊයේ (04) එකඟතාව පළකළ බවත් ඉතිරි ස්වෛරීත්ව බැඳුම්කරද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.