මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන කරුණු පහදන්න යයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය 22 වැනිදා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව ඉල්ලීමක් යොමු කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් මහ බැංකුවේ අවධානය යොමු වූ බවත් ඒ අනුව පසුගිය 21 වැනිදා පැවති පාලක මණ්ඩල රැස්වීමේදී කරුණු පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.

2024 - 2026 කාල සීමාව සඳහා වෘත්තිය සමිති හා එළැඹ ඇති ගිවිසුම යටතේ වැටුප් වැඩි කිරීම සඳහා පාලක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සුදානමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.