(නාලක සංජීව දහනායක)
පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟව පවතින මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වනවිට ගෙවීමට රජය තීරණය කර ඇත.
එහිදී දේශන සඳහා පැමිණීමේ දින සියයට අසූව සම්පූර්ණ කර නොමැති සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම, ශිෂ්‍යාධාර හා මහපොළ අරමුදල සම මට්ටමට ගෙන ඒමටද රජය තීරණය කර තිබේ.
මහපොළ අරමුදල හා ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මූලික කරගනිමින් සරසවි සිසුහු අද (09) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරවූහ.
ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් විරෝධතාවයේ නිරත සරසවි සිසුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මෙම එකඟතාවයන්ට එළඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එමෙන්ම සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇති ගැටලූ විසඳීම, ශිෂ්‍යාධාර පිරිනැමීමේදී සලකා බැලෙන දෙමාපිය ආදායම රුපියල් ලක්‍ෂ 7 දක්වා වැඩි කිරීම, වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ යෝජනාවලට කඩිනමින් විසඳුම් ලබාදීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
එම සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු සිසුන්ට ලිඛිතව ලබාදීමට නිලධාරීහු එකඟවූ අතර පවතින ගැටළු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සති දෙකකට වරක් සිසුන් සමඟ සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡා කර තීරණයකට එළබෙන බවද ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.


