මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සම ගැන තීරණය 10 වැනි දා


(විමුක්ති එස් රුද්‍රිගු)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සිදු කරනවාද නැද්ද යන තීරණය මෙම මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම දැනුම් දීම සිදු කරනු ලැබිණ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී ඇතත් එය ඉටු කර නොමැති බවට සිසුන් සහ මව්පියෝ පැමිණිලි කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සමේ සඳහන් වේ.