මහඉලුප්පල්ලම අනතුරේ මෝටර් රථය පැහැරගත් එකක්


 

(තිසර සමල් සහ බී.ජී.චතුරංග)

අනුරාධපුර, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී 15 හැවිරිදි සිසුවකු අනතුරට ලක් වූ මෝටර් රථය පැහැර ගත් රථයක් බවට තහවුරු වී ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ අඹු-සැමි යුවළක්  මෙම මෝටර් රථය පැහැර ගැනීම සිදු කර ඇති අතර, පැහැර ගැනීම සිදු කළ තරුණයා විසින් මෝටර් රථය රැගෙන පළා යමින් සිටියදී මෙම අනතුර සිදු ව ඇතැයි පොලිසිය කියයි. .

මෙම මෝටර් රථය මෙලෙස පැහැර ගැනීමට ලක්වූ බවට ඇන්ටනා කාර්මික ශිල්පියකු  අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට ඊයේ (16) පැමිණිල්ලක් සිදු කර ඇත.

අනුරාධපුරයේ පදිංචි මෙම මෝටර් රථයේ හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලට අනුව ඊයේ (16) පෙරවරුවේ ඇමතුමක් ලබා දුන් කාන්තාවක ඇන්ටනාවක් සවි කිරීමට ඇති බව පවසා පැමිණෙන ලෙසට ඇමතුමක් ලබා දී ඇත.

ඒ අනුව තමන් අනුරාධපුර, යාපනය හංදිය ප්‍රදේශයට පස්වරු 4.00 ත් 4.30 ත් අතර කාළයේ ගොස් එම කාන්තාවගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ ඒ අසල ඇති අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස දැන් වූ බවත් ඒ අනුව අතුරු මාර්ගයට මෝටර් රථයෙන් ගමන් කළ අවස්ථාවේදී, තරුණ යුවළක් මෝටර් රථයට ගොඩවූ බවත් ඔහු පොලිසියට කියා ඇත.

එසේ ගොඩවූ තරුණිය  තමාගේ ජංගම දුරකථනය හා තමන් සතුව තිබූ රුපියල් 3500 ක මුදලක් පැහැර ගත් බවත්, තරුණයා  තමාගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා මුදල් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමන් සතුව රුපියල් 55 000 ක මුදල් තිබූ නමුත් එය නොදීම කටයුතු කළ බව ද ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මුදල් පැහැර ගනීයැයි බිය වී මෝටර් රථයෙන් බැස, දිව ගොස් සහය ඉල්ලා කෑ ගැසූ බවත්, ඒ අවස්ථාවේදී තරුණයා මෝටර් රථය  පැහැර ගෙන ගිය බවත්, ඒ සමඟ පැමිණි තරුණිය පළා ගිය බවත්, අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේ පදිංචි ඇන්ටනා කාර්මික ශිල්පියා අනුරාධපුර පොලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇත.