මහ කන්නයේ වැඩ ඔක්තෝබර් සිට


(නිමල කොඩිතුවක්කු)

එල්නිනෝ තත්ත්වයත් සමඟ සිදුවන කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි බැවින් එළැබෙන මහ කන්නයේ වගා කටයුතු ඔක්තොම්බර් මස මුල සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය තිරණය කර ඇත.

ඒ අනුව වලව කලාපය ඔක්තොම්බර් 01 වන දින සිටත්, අල්ල කලාපය ඔක්තොම්බර් 15 වන දින සිටත්, කවුඩුල්ල කලාපය නොවැම්බර් 01 වන දින සිටත්, ඇළහැර කලාපය නොවැම්බර් 10 වන දින සිටත් ආරම්භ කිරීමට නියමිතය.

එළඹෙන මහ කන්නය සාර්ථකව සැලසුම් කිරීම පිළිබඳ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව තීරණය කෙරිණ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය යන ආයතනවල වගකිවයුතු නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.