මල්වඩමක්-උණ්ඩ 10 ක් මෝදර නිවෙසක් ඉදිරිපිට තබාගිහින්


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත මෝදර ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල්වඩමක් සහ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් තබාගොස් ඇති බව මෝදර පොලිසිය පවසයි.

මෝදර, හියුබට් පෙදෙස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවෙස ඉදිරිපිට මෙසේ මල්වඩමක් සහ උණ්ඩ තබා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු ලබාගත් තොරතුරු අනුව එම සැකකරු ඊයේ (22) අලුයම එම නිවෙස ඉදිරිපිට මෙම උණ්ඩ සහ මල්වඩම දමා යන බවට අනාවරණය වී ඇත.

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සමග ඇති අමනාපකමක් මත එම අපරාධකරුගේ පාර්ශවයේ පුද්ගලයකු විසින් උණ්ඩ සහ මල්වඩම තබා යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.