මනුෂගේ ඇප ඉල්ලීම ඉවතට


(රොෂන් තුෂාර)

ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක යෙදෙන බැවින් අත් අඩංගුවට පත් වුවහොත් පෙර ඇපයක් ලබාගත හැකි පරිදි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුණු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංක එස් බෝදරගම මහතා අද ප්‍රතික්ෂේප කළේය.

අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක නියැලෙන බවට සාක්ෂි ඉදිරිපත් ව නොමැති බැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව මහේස්ත්‍රාත්වරයා පිටු පහකින් යුත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.  

පෙත්සම්කරුගේ නීතිඥවරුන් අධිකරණයට සඳහන් කළ සිටියේ පෙත්සම්කාර නානායක්කාර මහතා හෙට දිනයේදී අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටින බවය.