(විනීතා එම් ගමගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නොමිලේ සැපයෙන තැපැල් මුද්දර භාවිතය තැපැල් දෙපාර්තමේන්තුවට ප‍්‍රශ්නයක් වී ඇතැයි එම දෙපාර්මේන්තු ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර අහෝසි වන නමුත් තවමත් පාර්ලිමේන්තුව පැවැත්වෙන බැවින් සමහර මන්ත්‍රීවරු එම මුද්දර භාවිතා කරන අතර එම මුද්දර ඇලවූ ලිපි භාරගන්නවාද නැද්ද යන්න පිළිබඳ තැපැල් ස්ථානාධිපතිවරු දෙගිඩියාවෙන් පසුවන බවත් සමහර තැපැල් කාර්යාලවල එම ලිපි භාර ගන්නා අතර තවත් සමහරු භාර නොගැනීම නිසා ගැටලුකාරි තත්ත්වයන් ඇති වන බවත් පැවසේ.
මේ සම්බන්ධව ඉහළ නිලධාරින්ගෙන් උපදෙස් පැතූ අවස්ථාවල ඔවුන්ට ද පිලිතුරක් නැතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැනි තත්ත්වයකට මීට පෙර දෙපාර්තමේන්තුව මුහුණ දී නැති බැවින් ප‍්‍රශ්නකාරි වී ඇති බවය.
කෙසේ වෙතත් නීතිය වන්නේ රජයක් විසුරුවා හරින ලද ගැසට් පත‍්‍රය නිකුත් වීමත් සමඟ මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබා දෙන තැපැල් පහසුකම් අහෝසි වීම වන බැවින් එම මුද්දර අවලංගු වන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
මේ පිළිබඳව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ගෙන් කළ විමසීමක දී ඒ මහතා ප‍්‍රකාශ කළේ මන්ත්‍රී ධුරයන් තවමත් පවතින බවය. කෙසේ වෙතත් මුද්දර පහසුකම දෙනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ තැපැල් දෙපාර්තමේන්තුව යැයි ද හෙතෙම කියා සිටියේය.

