(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉකුත් මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය මෙසේ දැනුම් දුන්නාය.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම දැනුම්දීම කළාය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් මෙම අවස්ථාවේදී සාක්ෂි මතු වී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.
එහිදී මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත් අධිකරණයෙන් නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් වී සිටින බවත් දන්වා සිටියේය.
ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අත්හිටුවීමට තීන්දු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි.
මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධු මාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කළේය.
මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

