මණ්ඩලය අලුත් පියවරක් තබද්දී සහයෝගය දෙන්න


(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවේදී වැඩ වර්ජන සිදුනොකර තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්නැයි වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීමට, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට මෙන්ම  ජනතාවට අඩු මිලට විදුලිය සැපයීම යන සියලු කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද(04) සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වීමට  විදුලි සේවක වෘත්තීය සංගම් පියවර ගනු ලැබීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

”අපේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සපයන්න, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න මෙන්ම  ජනතාවට අඩු මිලට විදුලිය සපයන්න සියලු කරුණු අනුව මේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරනවා. සියයට සියයක් රජය සතු සමාගම් පහකට තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. 

මේ ගැන විදුලි බල ඇමතිවරයා සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. රටට මේ වැදගත් ආයෝජකයන් කැඳවා ගැනීමේදී අපේ කර්මාන්ත පවත්වා ගැනීමේදී පාරිභෝගිකයන්ට සහන සැලසීමේදී මේ පියවර සඳහා යා යුතුම වනවා කියලා සියලු විදුලි බල සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කලින් ආපු ආණ්ඩු කරන වැඩේ නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕන නෑ. ඔබට අවශ්‍ය නම් ප්‍රමාණවත් වන්දියක් ලබාගෙන විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයකුත් තියෙනවා.

ඒ නිසා පරණ දේවල් ඔලුවේ තියාගන්නේ නැතුව දේශපාලන හේතූන් මත වැඩ වර්ජන වලට සේවකයන් කැඳවන්නේ නැතුව විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන වෙලාවෙදි ඒ වෙනුවෙන් වෘත්තිය සමිති තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.