මඩ පොහොර නැව ලබන 17 කොළඹ වරායට


(අංජුල මහික වීරරත්න)

වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

මඩ පොහොර නැවක් ලංකාවට ගෙන්වන්නේ වගා කන්න තුනකට පසුවයි.

වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයයේ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට පවා නොහැකි විය. එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට පවා පොස්පරස් හා පොටෑසියම් ඌනතාවය බලපාන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.

2021 මහ කන්නයට පෙර හෙක්ටෙයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 4.1ක් වැනි අස්වනු ප්‍රමාණයක් ලබා ගත්ත ද පොස්පරස් හා පොටෑසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය සහිත පොහොර ගොවීන්ට නොලැබීම නිසා හෙක්ටෙයාර් එකකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2- 2.5 දක්වා පහත වැටිණි.

මෙම මස 17 දින මෙරටට ලැබෙන මඩ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඩ  පොහොර තොගය ලබා දී තිබේ.