මගේ මතයේ වෙනසක් නෑ - සාගර කාරියවසම්


(ඩයනා උදයංගනී)

ඉන්ධන වැඩිකිරීම සම්බන්ධයෙන් තමා නිකුත් කළ නිවේදනයේ ඇති මතය සමඟ තමා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තමා දැරූ මතයේ වෙනසක් නැතැයි ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (16) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රධාන ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පක්‍ෂ මූලස්ථානයේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙනවාද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

පක්‍ෂය තුළ රහස් සාකච්ඡා නැතැයි කී කාරියවසම් මහතා සියලු දේ කරන්නේ එළිපිට බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහිකරන ලද ජනතාවගේ පක්ෂය බව කී මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් ගත යුතු තීරණ සියල්ල පක්‍ෂයක් ලෙස ගන්නා බවත්, ඒවා නිර්භයව ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළේය.

එම කටයුතු ඉදිරියට ද එලෙසින්ම සිදුකරන බව කී ප්‍රධාන ලේකම්වරයා තම නිවේදනය සම්බන්ධයෙන් පක්‍ෂය තුළ ප්‍රශ්නයක මතුවී නැතැයි ද කීවේය.