බෝම්බ සිද්ධියට සම්බන්ධ නැති පිරිස් නිදහස් කරන්නැයි මුස්ලිම් මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලති


(රංජන් කස්තුරි)

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාස්කු දා බෝම්බ ප්‍රහාරය සිද්ධියෙන් පසුව ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී ඇති අතර බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාට කරුණු කියා තිබේ.

සිද්ධීන්වලට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවද ඔවුන් සිදුවීම්වලට සම්බන්ධ නැතිබව තහවුරු කර හැකි ඉක්මනින් නිදහස් කරන්නැයිද එහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා ලංකාදීපයට පැවැසීය.

නැවත ඇමැතිධූර බාරගැනීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ බවද මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කර නුදුරු දිනකදී තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයාට දැන්වූ බවද අමීර් අලී  මහතා කීය.

රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එම්.එච් ෆවුසි, ෆයිසාල් කාසීම්, අලී සහීඩ් මව්ලානා, එම් මන්සූර් යන මන්ත්‍රීවරුන් එලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.