(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝනොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණවලින් වැඩි ප්‍රතිශතයකට ප්‍රධාන හේතුව හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි රෝග වන අතර සෑම වසරකම එම රෝග තත්ත්වයන් හේතුවෙන් මරණ එක්ලක්ෂ විසිදහසක් සිදුවන බව හඳුනාගෙන තිබේ.
බෝ නොවන රෝග වැළැක්වීම සඳහා වන පළමු ජාතික ප්‍රතිපත්තිය 2009 වසරේ දී ප්‍රකාශයට පත් කර ඇති අතර එකී ප්‍රතිපත්තිය ඇගයීමට හා සමාලෝචනයට ලක් කර අදාල සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සංශෝධිත නව ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇත.

