බොරැල්ලේ වෙඩි තැබීමට අයෙක් සැක පිට


(ගයාන් සූරිය ආරච්ච සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ලේ  වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අද (9) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සැකකරු වනාත මුල්ලේ දුමින්ද නැමැත්තාගේ පාර්ශවයේ පුද්ගලයෙකු බවට පොලිසිය සැක පල කරයි.

ක්‍රිකට් තරගාවලියක් සඳහා සහස්‍රපුර සිරිසව උයන ක්‍රීඩාංගණයේ සැරසිලි කටයුතු සිදු කරමින්සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී පනස් හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 25ක් පමණ එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවධනය වී තිබුණි.

එම වෙඩි ප්‍රහාරයෙන් පස්දෙනෙකු තුවාල ලබා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු මිය ගියේය.

එසේ මියගොස් ඇත්තේ කැලණිය, අකුරු පිටිය පාර පදිංචි මදුශාන් සුගන් නැමැති 28 පුද්ගලයෙකි.

 වෙඩි ප්‍රහාරයට ලක් වූ   තවත් තිදෙනකු බරපතල තත්ත්වයෙන්  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.