බේරුවලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බේරුවල මරදාන ප්‍රදේශයේ වෙළඳ සැලක් කරන මුවාවෙන් හෙරොයින්,අයිස් හා හෂිස් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අද (21) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් පහක්, හෂිස් ග්‍රෑම් 15 ක් , විදුලි තරාදියක් , මත් ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට ගන්නා ඉටි කවර, අයිස් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමට ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවැසීය.

කොම්පඤ්ඤවීදියේ සිට බේරුවල මරදාන ප්‍රදේශයට පැමිණ වෙළඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.