
(ලක්මි කුඩලිගම)
හොරණ නගරයේ බීමත්ව යතුරු පැදියක් පැදවූ (45) හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලිස් යතුරු පැදියේ නංවා පොලිසියට ගෙන යද්දී යතුරු පැදිය පැදවු පොලිස් නිලධාරියාගේ කරට උඩින් අතක් දමා යතුරු පැදිය ඇන්ජිම නවතා යතුරත් අරන් පැන දුවද්දී පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු නැවතත් අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි.
හොරණ පොලිසියේ රථවාන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක විමල් ආනන්ද මහතා ඇතුළු නිලධාරින් පිරිසක් බීමත් රියදුරන් සොයා හොරණ නගරයේ මහජන පුස්තකාලය අසල රථවාහන පරික්ෂා කර තිබේ.
එහිදී බීමතින් යතුරු පැදියක් පදවාගෙන පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන බීමත් පුද්ගලයා පැමිණි යතුරු පැදිය පොලිස් භාරයට ගෙන සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් යතුරු පැදියක පසුපස නංවා ගෙන පොලිසියට රැගෙන යාමට කටයුතු කර ඇත.
එසේ රැගෙන යද්දී හොරණ කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිස් යතුරු පැදියේ පිටුපස ගිය සැකකරු ක්ෂණිකව හිටගෙන යතුරු පැදිය පැදවු පොලිස් නිලධාරියාගේ කරට උඩින් අතක් දමා යතුරු පැදියේ යතුර කරකවා එහි ඇංජිම නවතා යතුරත් රැගෙන පලා යාමට උත්සාහ කර තිබේ.
එහිදී වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් සැකකරු පසුපස හඹා ගොස් නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බව පොලිසිය පවසයි.

