බිළිඳා වළ දමා මියගිය කාන්තාව ගැන විමර්ශනයකට නියෝගයක්


(හැටන් රංජිත් රාජපක්ෂ)                  
අලුත උපන් බිළිඳා ගෙවත්තේ වළ දමා මව මියයාම පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා අද (13) හැටන් පොලිසියට නියෝග කළේය.

හැටන් පොලිස් වසමට අයත්  කොටගල යුනිෆිල්ඩ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි ආර්. වසන්ති කුමාරි නැමති මෙම තිදරු මව මීට දින කිහිපයකට ප්‍රථම තම නිවස තුළදී බිළිඳෙකු බිහිකර ගෙවත්තේම රහසිගතව වළ දමා දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ප්‍රදේශවාසින් විසින් ඉකුත් (11) දින දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යන අතරතුර කාන්තාව  මිය ගොස් ඇත.

මිය ගිය කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශය් රැකියාවක නිරත ව සිටින  බවත්,  මිය ගිය කාන්තාවට 12 සහ 7 හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 5ක පිරිමි දරුවකුද  සිටින බව හැටන් පොලීසිය පැවසීය.

මියගිය කාන්තාව දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේ දරු තිදෙනා හැර නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන හැටන් පොලිසිය පැවසීය.

මිය ගිය කාන්තාව සම්බන්ධයෙන් මරණ පරික්ෂණය සිදු කිරීමේදි ඇති වු සැකයක් මත මරණ පරික්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කළ යුතු බවට පොලිසියට කරන ලද නියෝගයක් මත හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

හැටන් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදි මිය ගිය කාන්තාව විසින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන බිළිඳාගේ සිරුර පොලිසිය විසින් ගොඩගෙන දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ තැන්පත් කර ඇත.