(අජිත්ලාල් ශාන්තඋදය)
බෙලිහුල්ඔය, ගලගම සිට ලඳුයාය දක්වා දිවෙන ග‍්‍රාමීය මාර්ගයේ ගමන්කළ බැකෝ යන්ත‍්‍රයක් අස්සැද්දුමවෙල ප‍්‍රදේශයේදී අද සවස පාරෙන් ඉවතට පැන අඩි පහළොවක් පමණ පහළ නිවසක් මතට පෙරළීමෙන් නිවසට දැඩිලෙස අලාභහානි සිදුව ඇති බව ප‍්‍රදේශවාසීහූ පවසති.
නිවසේ නිදන කාමරය ඇති දෙසට බැකෝ යන්ත‍්‍රය පෙරළී ඇත. වහලට සෙවිලි කළ ඇස්බැස්ටස් තහඩු ගණනාවක් කැඞී වහලේ කොටසක් ද, බිත්තියට ද හානි සිදුව ඇති බව නිවස හිමි එච්.ආර්.එම්.අතුල සුගත්සිරි මහතා කියයි.
මෙම අනතුරෙන් ජීවිත හානි කිසිවක් නැතත් තමන්ගේ කුඩා දරුවාට සුලූ තුවාල සිදුව ඇති බව සුගත්සිරි මහතා සඳහන් කරයි.
අනතුරට පත් ජේසීබී යන්තය ලඳුයාය දෙස සිට ගලගම පැත්තට යමින් තිබූ එකකි. ප‍්‍රදේශවාසීන් පැවසුවේ එය තරමක් වේගයෙන් පැමිණි බවයි. රියදුරුට එය පාලනය කරගත නොහැකිව පහළ තිබූ නිවස මතට පෙරළෙන්නට ඇතැයි ප‍්‍රදේශවාසීන් සැකකරයි.