බස්නාහිර පෞද්ගලික බස් රථහිමිවරුන්ට ලක්ෂ තුනක ණය අද සිට


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ හිමියන්ට ලබාදෙන රුපියල්  350,000ක  උපරිමයකට යටත් ණය මුදල ලබාදීමේ මූලික කටයුතු අද (19)  සිට  ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

කොවිඩ්-19 ව්‍යසනය නිසා බලපෑමට  ලක් වූ නිත්‍ය මගී සේවා අවසරපත්‍රලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ.

ලංකා බැංකුව හා මහජන බැංකුව මගින් නිත්‍ය  මගී  සේවා අවසරපත්‍රලාභීන්ට පමණක්  ලබාදෙන මෙම ණය මුදල සදහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන  අධිකාරිය මගින් නිකුත් කර ඇති  මාර්ග බලපත්‍රය ඇපයට තබා ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

ඒ අනුව රුපියල්  උපරිම ණය  මුදල ලබා දීමට නියමිතව ඇත්තේ   විද්‍යුත් ප්‍රවේශ පත්‍ර  යන්ත්‍රයක් මීට පෙර ලබා නොගත් බස්රථ හිමියන්ට වන  අතර එම යන්ත්‍රය මිලදී ගෙන ඇති බස් රථ හිමියන්ට ලබාදෙන්නේ රුපියල් ලක්ෂ තුනක  ණය මුදලක් පමණක්  බව පැවසේ.එසේම  රුපියල් ලක්ෂ තුනක   ණය මුදලත් සමඟ ප්‍රවේශපත්‍ර යන්ත්‍රය මිලදී ගැනීම සඳහා  ලබාදෙන රුපියල් 50,000 ක ණය මුදල ලබාගතහොත් අදාල යන්ත්‍රය බස් රථයේ සවි කිරීම අනිවාර්ය බව ද සභාපතිවරයා පැවසීය.

මෙම ණය මුදල මාස 36 කින් වාරික වශයෙන් ගෙවා නිම කළ යුතු අතර ඒ සඳහා සියයට 7.5 සහන පොලියක් අය කිරීමට නියමිතය.

යම් හෙයකින් අදාළ ණය මුදල ගිවිසුම්ගත පරිදි ගෙවා නිමකිරීමට අපොහොසත් වුවහොත් ඇපයට තබාගන්නා මාර්ග බලපත්‍රය බැංකුව සතු වන අතර ඒ සඳහා බස්නාහිර පළාත්  මාරගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වගකීමක් නොදරන බව ද පැවසේ.

දැනට බස්නාහිර පළාතේ  ලියාපදිංචි පෞද්ගලික බස් රථ 6221 ධාවනය  වන අතර එම  බස් රථ හිමියන් බොරැල්ල , බැස්ටියන් මාවත , රත්මලාන , හෝමාගම ,කළුතර , ජාඇල සහ මිරිස්වත්ත යන ප්‍රදේශවල පිහිටි  පළාත් ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වෙත ගොස් මීට අදාළ උපදෙස් ලබා ගන්නා ලෙස  බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව් .ප්‍රසන්න සංජීව මහතා පළාතේ පෞද්ගලික බස් රථ හිමියන්ට දන්වා සිටී.