බස් වර්ජනය අත්හිටුවයි


(නිමල කොඩිතුවක්කු)

 

සියලුම බස් සංගම් ඒකාබද්ධව හෙට (18)  මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

සිය ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

 

ඒ අනුව ගැටලු සඳහා විසදුම් ලබාදීමට සතියක කාලයක් ලබා දීමට බස් සංගම් එකඟතාවය පල කළ බවත් එසේ නොමැතිනම් ලබන සතියේ සිට බස් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

 

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් ෂීට් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර  ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් බස් සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබේ.

 

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති චන්දන සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.