බස් දෙකක් ගැටී 8ක් රෝහලේ



(දයාරත්න ඇඹෝගම)
 
පෞද්ගලික බස් රථ දෙකක් අද(21) පුත්තලම ඒ-12 මාර්ගයේ ගොවිපල ආසන්නයේදී ගැටීමෙන් බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. 
 
තුවාල ලබා ඇත්තේ රාජාංගනය, සාලියවැව සහ තලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
 
තුවාල ලැබූ පිරිස අතර කාන්තාවෝ ද, කුඩා දරුවෙක් ද සිටිති. 
 
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. 
 
තුවාලකරුවන් අනුරාධපුර සහ නොච්චියාගම යන රෝහල්වලට ඇතුළත් කර ඇත. 
 
බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

(ඡායාරූප - ජයරන්ත වික්‍රමාරච්චි)