(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලහත්කාරයෙන් දෙමහල් නිවසක් තුළ සිරකර ගෙන සිටි 12 හැවිරිදි දරුවකු එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෙසෙල් වත්ත පොලිසිය කියයි.
එම සිද්ධියට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවෙස් හිමියා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට මුහුණ දුන් දරුවා සිය නිවසේ සිට ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි තවත් දරුවන් දෙදෙනකු සමග පිර්සයිබු වීදියේ වෙළඳසලකට පැමිණි අවස්ථාවේදී එම වෙළඳසැල ආසන්නයේ පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට මෙම දරුවා තට්ටු කර ඇති බවත් එයට උරන වූ නිවසෙහි පදිංචි පුද්ගලයකු එම දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවෙනි මහලේ කාමරයකට දමා සිරකර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එයින් බියට පත් වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනිම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.
තුවාල ලද දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත.