බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට විතරක් සීමා කරගමු


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන ජනතාව පරිස්සම් විය යුතු බව කී ජනාධිපතිවරයා එවැනි දේවල් වලින් වන්නේ රට නැවත බංකොලොත්භාවය කරා ඇදගෙන යාමට මග පෑදීම බව සඳහන් කළේය.

අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

 රට ගොඩ නැංවීම සඳහා වන දෙවැනි ණය වාරිකය  අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

අභියෝගාත්මක ගමනට නායකත්වය දෙන්නට හැකිවීම ගැන මා තුළ ඉහතමානී සතුටක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ ,නායකයෝ කිසි කෙනෙක්ට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නැහැ. මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි.වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.

මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල  ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා.