
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල මහමග නවතා තැබෙන යතුරුපැදි සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයකු සොරාගත් යතුරු පැදි 19 හා ලියාපදිංචි අංක තහඩු 14 සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
එහිදී පල්සර් වර්ගයේ යතුරු පැදි 18, සී.ටී 100 වර්ගයේ යතුරු පැදියක් හා ලියාපදිංචි අංක තහඩු 14 මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (22) දා උදෑසන බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණ මෙම භාණ්ඩ පරික්ෂාවට ලක් කෙරිණ.
ඒ අනුව සොරාගත් යතුරුපැදියක් තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට ලද තොරතුරකට නිලධාරි කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී පල්සර් වර්ගයේ යතුරුපැදි තුනක් හා යතුරු පැදි වලින් ගැලවූ ලියාපදිංචි අංක තහඩු අටක් සමග නිවසේ සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොළඹ අවට සහ ගාල්ල ප්‍රදේශවලින් සොරා ගත් තවත් යතුරු පැදි රැසක තොරතුරු අනාවරණය වූ අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව ගාල්ල , කළහේ, පැලැන්ගස්වත්ත ප්‍රදේශයේ සැකකරුට අයත් නිවසක සඟවා තිබී තවත් යතුරුපැදියක් සහ ලියාපදිංචි අංක තහඩු හයක් පොලිස් භාරයට ගත් බව පැවසේ.

