බදුර්දීන්


(නිමන්ති රණසිංහ)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී ජංගම දුරකථනයක් සන්තකයේ තබා ගත් බව සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයේ මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (14) ඇප මත මුදා හරිනු ලැබු බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද (15) පැවසීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුතුවලින් හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරියද, බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පවතින මෙම නඩුව සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරය ට පැමිණීය යුතු බව ද හෙතෙම සදහන් කළේය.

දුරකතනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව ඉකුත් 13 වැනිදා එම නඩුව විභාගයට ගනු ලැබූ අවස්ථාවේ දී සැකකාර හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් මෙම චෝදනාවට නිවැරදිකරු බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනතට අනුව සැකකාර හිටපු මන්ත්‍රීවරයාට චෝදනා නගා තිබිණී.

ඒ අනුව එම සිද්ධියට අදාළව  තමන් නිවැරදිකරු බවට සැකකරු පවසා ඇති අතර, නැවතත් එම නඩුව සඳහා ලබන 24 වැනිදා ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

හිටපු අමාත්‍යවරයාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට අනාවරණය වූ මැගසින් බන්ධනාගාර ජේලර්වරයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කර තිබිණි.