
(අංජුල මහික වීරරත්න)
පොහොර ලබාදීමේ වැඩපිළිවෙලට ලබන වසරේ සිට රජය මැදිහත් නොවී කරගෙන යා හැකි සැලසුමක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට හා ගොවිජන් සේවා කොමසාරිස්ට උපදෙස් දී තිබේ.
යල කන්නයට අවශ්‍ය සියලූම වර්ගයේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා දැනුම් දී ඇත්තේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය මැදිහත් නොවන බවයි.
යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඉන් එයින් ඉවත් වන බව රත්නායක මහතා දැනුම් දී ඇත.
රජය විසින් ගොවි ජනතාවට පොහොර ලබා දීමට අවශ්‍ය මුදල් ලබාදෙන අතර රජය මැදිහත්වී ලබාගන්නා විදේශ අධාර පොහොර ආනයනය කරන පුද්ගලික අංශයේ ආයතන වෙත ලබාදී මිල පොහොර අඩු කිරීමට මැදිහත් වන බව සාගල රත්නායක මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඉන් එපිටට පොහොර ලබාදීමට රජය මැදිහත් නොවන බවද ඔහු කියා ඇත. එසේම රුපියල ස්ථාවර වීමත් ලෝක බැංකුව වැනි ආයතන කෘෂිකර්මාන්තය වෙත ආධාර ලබාදීමත් නිසා පොහොර මිල ඉදිරියේදී තවදුරටත් අඩු වනු අතැයි රත්නායක මහතා නිලධාරීන්ට පෙන්වාදී ඇත.
නිලධාරීන්ගේ ද අදහස් ලබාගැනීමෙන් පසු සාගල රත්නායක මහතා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ රජය සම්බන්ධ නොවී ගොවීන්ට පොහොර ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

